
රන් තැටියක කදුළු කාව්‍ය පොත මම මුලින්ම බැලුවෙ 1994 වර්ෂයේ. ඒ වෙනකොටත් ඒක පළ කරල අවුරුදු විස්සක් විතර ගිහින්. මෙම පොත දයාසේන ගුණසිංහ විසින් ලියූ විශිෂ්ඨ කෘතියක්. එයට 1974 වර්ෂයේ හොදම කාව්‍ය වෙනුවෙන් සාහිත්‍ය සම්මානයත් ලැබුණා. ඊයේ පේරාදෙණියේ අපේ විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් ආපසු එන විට Lending අංශයේ නැවත බාරදී තවමත් රාක්කවලට නොදැමූ පොත් අතර මෙම පොත ආයෙත් මගේ ඇස ගැටුණා. දැන් 2015 ත් වෙලා. තවත් අවුරුදු විස්සක් පහුවෙලා. මම ආසා කළ කවි පංතිය බ්ලොග් එකේ ලියන්න හිතුණා.
රන් තැටියක කදුළු
මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්...
මෙතෙක් ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී...
ළයට කැටි කොට නිදයි ඔබෙ මව
අවදිවන ඇසිපියෙන්
බිඳී සුන්වන ලොවක.
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුළෙහි
ඉකිබිඳියි කම්පාව....
දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුළට වූ බහිරවයන්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඬු නියෙන්
පැහැර සඟවන අතර
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව...
සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඩැලි පෙරලන්න
මවගෙ ඇකයෙහි පහස
නොදත් දැරියකි සිඟිති...
කිරි ගරුඩ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි...
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුළින්...
දයාසේන ගුණසිංහ (1936-1996)